බෝට්ටුවෙන් යන්න අනුබල දුන් පිරිසක් පොලිස් දැලේ

අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අනුබල දුන් පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ නිලධාරින්ට සහ මඩකලපුව නාවික හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගු ගෙන ඇත.

කාත්තන්කුඩි පොලිස් වසමේ මුත්තුවාරන් වෙරළ තීරයේ දී ඊයේ (11) වැටලීම් හතරක් සිදුකර තිබුණි.

එහිදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට සිටි පුද්ගලයින්ට බෝට්ටු මගින් ප්‍රවාහනය පහසුකම් සපයා ඒ සඳහා අනුබලදීමේ වරදට බව වාර්තා වේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටු පහක්ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එක් පුද්ගලයකු නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාව දක්වා ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා අය කළ බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published.