රසායනික පොහොර තහනමට එරෙහි පෙත්සම ගැන දුන් නියෝගය

රසායනික පොහොර තහනම් කිරීම මගින් ගොවීන්ට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු සලකාබැලීම සඳහා 2023 පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (12) එල්.ටී.බී. දෙහිදෙණිය, ඒ.එච්.එම්.ඩී. නවාස්, සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියමකළේ එය සලකාබැලීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙසය.

නීතිඥවරුන් වන ටී.ඩබ්. නානායක්කාර හා ඩබ්.ඩී.එස්. සුමිත් එරන්දික සහ ගොවි මහතෙකු වන ටී. ඩබ්. අමරදිවාකර මෙම පෙත්සම ගොනුකර තිබේ.

කිසිදු විධිමත් අධ්‍යයනයකින් හෝ විශේෂඥ උපදෙස් ලබාගැනීමකින් තොරව අත්තනෝමතිකව කටයුතු කරමින්  රසායනික පොහොර තහනම් කිරීමට තීරණය කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),14(1)g යන විධිවිධාන මගින් සහතික කර ඇති මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ,  හිටපු වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ,  කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ, පාර්මේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.

Leave a Reply

Your email address will not be published.