රැජිනට අවසන් ගෞරව දැක්වීමට රට වැසියන්ට පැය 24ක්

අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය මේ වනවිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් මන්දිරයේ තැන්පත් කර තිබේ.

දේහය අද දිනය තුළ මහජන ගෞරවය සඳහා එඩින්බරෝ හි සාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙත රැගෙන යාමට නියමිතය. 

වසර 70ක් පුරා බ්‍රිතාන්‍යය පාලනය කළ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය බැල්මෝර් මාළිගයේ සිට එඩින්බරෝ වෙත අවමංගල්‍ය රථ පෙළකින් රැගෙන ආවේය.
             
ඒ මඟ දෙපස රැඳී සිටි සුවහසක් ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ ය. රථ පෙරහර හෝලිරූඩ් හවුස් මන්දිරය වෙත පැමිණීමට පැය 6ක කාලයක් ගතවුණි.

වසර 500ක කාලයක් පුරා රජ පවුල සතුවූ මේ මන්දිරය රැජනගේ ප්‍රියතම නවාතැනක් වූ අතර සෑම ගිම්හාන සෘතුවක ආරම්භක සතියේදී එහි රැඳී සිටීම රැජිනගේ සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත්ව තිබුණි.

පැය කිහිපයක් තැන්පත් කර තිබීමෙන් අනතුරුව රැජනගේ දේහය එඩින්බරෝ හි සාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙත ගෙන ගොස් මහජන ගෞරවය සඳහා පැය 24ක් තැන්පත් කෙරෙනු ඇත.

ඉන් අනතුරුව දේහය ලන්ඩන් නුවර වෙත රැගෙන යාම බලධාරීන්ගේ අපේක්ෂා කෙරේ.

ඒ සඳහා පෙර සූදානම් කළ පරිදි රාජකීය දුම්රිය වෙනුවට රාජකීය ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් යොදා ගැනෙනු ඇත.

මේ අතර රැජිනට අයත්ව සිටි කෝගි වර්ගයේ සුරතල් සුනඛයින් හදාවඩා ගැනීමේ වගකීම ඇගේ පුත් ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ හිටපු බිරිඳ වන සාරා ආදිපාදවරිය භාරගෙන තිබේ.

ඒ අනුව රැජිනගේ මික් සහ සැන්ඩි නම් කෝගි සුනඛයින් භාරගැනීමට යුවළ තීරණය කර තිබුණි.

එම සුනඛයින් රැජින වෙත තෑගි කර තිබුණේ ද ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ දියණියන් දෙදෙනා විසිනි.

Leave a Reply

Your email address will not be published.