රැජිනගේ අවමංගල්‍ය උත්සවයට එන-නොඑන අය ගැන විස්තරයක්

එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ආරාධනා ලද සහ නොලද රාජ්‍ය නායකයින් සම්බන්ධයෙන් පුවතක් බී බී සී පුවත් සේවය පළකර තිබේ.

බ්‍රිතාන්‍යයේ වසර ගණනාවකින් විශාලතම පිරිසක් සහභාගී වන අවස්ථාව ලෙස මෙය සැලකෙයි. 

ඊට රාජකීය පවුල්වල පිරිස් සහ දේශපාලඥයින් එක්වීමට නියමිතය.

ඒ සඳහා ආරාධනා පත්‍ර මේ වනවිටත් යවා ඇති අතර ඊට රාජ්‍ය නායකයින් සහ විදෙස් ප්‍රභූන් 500කට අධික පිරිසක් එක්වෙයි.    

වාණිජ ගුවන්යානාවල පැමිණෙන ලෙස බොහෝ රාජ්‍ය නායකයින්ට දන්වා ඇති අතර අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ස්ථානයට ඔවුන්ව කණ්ඩායම් වශයෙන් බස් රථ වලින් ගෙනයන බවද දන්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

අවමංගල්‍ය උත්සවය වෙස්ට්මින්ස්ටර් ඇබි හි පැවැත්වෙන අතර එහි 2,200කට පමණ රැස්විය හැකිය.

බෙල්ජියම, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, නොර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කයේ රාජකිය පවුල් වල පිරිස් ඊට එක්වන බව තහවුරු කර ඇති බව සඳහන් ය. ඔවුන් බහුතරයක් දෙවැනි එලිසබෙත් රැජිනගේ ලේ ඥාතීන් ය.

අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ ද අවමංගල උත්සවයට එක්වෙති. නමුත් ඔවුන් එම අවස්ථාවට එක්වීමට බස් රථයෙන් ගමන් නොකරන බව සඳහන් ය. 

නමුත් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු එම අවස්ථාවට එක්වෙයිද නොවෙයිද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. නමුත් අමෙරිකාවේ 1977-81 දක්වා ජනපති පදවිය දැරූ ජිමී කාටර් පවසන්නේ ඔහුට ආරාධනයක් ලැබී නොමැති බවය.

එහෙත් හිටපු ජනාධිපති ඔබාමා ට පුද්ගලිකව ආරාධනයක් ලැබීමට ඉඩ ඇතැයිද වාර්තා විය.

මෙතෙක් ආරාධනාව පිළිගෙන ඇති ලෝක නායකයින් වන්නේ:

මයිකල් මාර්ටින් – අගමැති, අයර්ලන්තය 
ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේයින්මීයර් – ජනාධිපති, ජර්මනිය 
සර්ජියෝ මැටරෙල්ලා –  ජනාධිපති, ඉතාලිය
උර්සුලා වොන්-ඩර් ලෙයෙන් – ප්‍රධානී, යුරෝපා කොමිසම 
යූන් සුක්-යියෝල් – ජනාධිපති, දකුණු කොරියාව 
ජෙයර් බොල්සොනාරෝ – ජනාධිපති, බ්‍රසීලය 
රිසේප් ටයිප් එර්ඩොගාන් – ජනාධිපති, තුර්කිය 
එම්මානුවෙල් මැක්‍රෝන් – ජනාධිපති, ප්‍රංශය 
ඇන්තනි ඇල්බනීස් – අගමැති, ඔස්ට්‍රේලියාව 
ජසින්ඩා ආර්ඩන් – අගමැති, නවසීලන්තය 
ජස්ටින් ටෲඩෝ – අගමැති, කැනඩාව

  
ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ ද තමා බ්‍රිතාන්‍ය 11 වන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යට එක්වන බව පවසයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයින් එම අවස්ථාවට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ද ඊට එක්වන බව තහවුරු කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඊට සහභාගී වන බව මෙතෙක් තහවුරු කර නැත.

චීන ජනාධිපති ෂී ජින්පින් ට ආරාධනායක් යවා ඇත්ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලැබී නොමැත.

ඉරානය වෙනුවෙන් එහි තානාපතිවරයෙක් එම උත්සවයට එක්වීමට නියමිතය.

එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වීම සඳහා සමහර රටවල නායකයින්ට ආරාධනා කර නැත.

රුසියාව, බෙලාරස්, සහ මියන්මාරය ඒ අතර වෙයි.

Leave a Reply

Your email address will not be published.