කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය..

පෞද්ගලික අංශය විසින් අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “ one stop shop” ක්‍රමය දීප ව්‍යාප්ත මට්ටමින්  හඳුන්වාදෙයි. මෙම නව ක්‍රමවේදය ලබන නොවැම්බර් මාසයේදී හඳුන්වාදීමට නියමිතය. මෙමගින් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නව සේවා ඒකකය හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ සංවර්ධන බලපත්‍ර අනුමත කිරීමට ගතවන කාලය අවම කිරීම හා සරළ කිරීමෙන් වැඩි ආයෝජන ආකර්ෂණය ඇතිකර ගැනීමය.

විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලබා දී නියාමන විනිවිදභාවය වැඩිකිරීම තුලින් වංචා දූෂණ අවම කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

සංවර්ධන බලපත්‍රලාභියා වෙනුවෙන් අදාල අනෙකුත් ආයතනයන්හි අනුමැතිය සදහා අයඳුම්පත යොමුකිරීමද මෙම සේවා ඒකකය මගින් සිදුකිරීමට නියමිතය.

ආයතන 33ක් ඇතුළත් කරමින් මෙම සේවා ඒකකය පිහිටුවා ඇති අතර එම සියලුම ආයතන නියෝජනය වනපරිදි විෂය පථ කමිටුවක්ද (Scope Committee) ස්ථාපිත කර ඇත. අදාල සංවර්ධන බලපත්‍රය සදහා අවසන් අනුමැතිය ලබාදෙනු ලබන්නේ එම කමිටුව මගිනි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ඇතැම් ව්‍යාපෘති දැනට වියදම් කර ඇති මුදල් අපතේ නොයන ආකාරයට අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය තේරුම්ගෙන මෙම තීරණය ගත් බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව ලබන වර්ෂයේදී ප්‍රධාන වශයෙන් රාජ්‍ය මුදල් අවම වශයෙන් භාවිතා කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙරහි ද අවධානය යොමුව ඇතැයිද හෙතෙම පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේදී මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන රුපියල් මිලියන 3264 ක් වැය කරමින් ව්‍යාපෘති 208ක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා රුපියල් මිලියන 10158ක් වටිනා ව්‍යාපෘති 05ක්ද මෙම වසර තුළදී ක්‍රියාත්මක කර තිබේ.

මේ අතරින් මහා භාණ්ඩාගාර අරමුදල් මත ඉඳිකෙරෙන ව්‍යාපෘති 28 ක් ලබන වසර තුලදී ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන7820 ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම මෙම වසර තුළ ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය අඩු තත්ත්වයක පැවතුනද එම ව්‍යාපෘතිවල නියුතු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව කොන්ත්‍රාත්කරුවන් මුහුණ දෙන මිල වෙනස්වීම, ඔවුන්ගේ කොන්ත්‍රාත්කාලය දීර්ඝ කිරීම, කොන්ත්‍රාත් බැඳුම්කර දීර්ඝ කිරීම හා කොන්ත්‍රාත් සඳහා අවශ්‍ය භාණ්ඩ ආනයනයේදී ලබාදිය හැකි සහන ආදිය සඳහා විසඳුම් රැසක් ලබාදී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

පළාත් පාලන ආයතන හෝ රාජ්‍ය ආයතන සතු අවභාවිතයේ පවතින සංවර්ධන සඳහා යොදාගත හැකි නාගරික ඉඩම් හඳුනාගැනීමට කටයුතු කරමින් පවතී. එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන හෝ අදාල ආයතන සතුව තිබියදීම පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published.