නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ බහුදින ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.     

ඊයේ (15) රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් උතුරු මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර තිබුණි. 

එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ සිටි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන එම ඩිංගි යාත්‍රවේ ක්‍රියාකරුද සමග වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දොළොස් දෙනෙකු , කාන්තාවන් හතර දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 21දෙනෙකු එම ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   

මේ අතර උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී  මෙම පිරිස නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට රැගෙන යාමට සූදානමින් රැඳී සිටි බවට සැක‍කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක්ද අද (16) අළුයම එම බහුදින ධීවර යාත්‍රාවේ ක්‍රියාකරුවන් පස් දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පුනරීන්, උඩුත්තුරෙයි, ඔට්ටමාවඩු සහ වාලච්චේන යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඩිංගි යාත්‍රාව සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මරදන්කේනි පොලීසිය වෙත භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.