අමානුෂික ඝාතන දෙකක්

නිට්ටඹුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලදී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වන ඝාතනය සිදුව ඇත්තේ අමානුෂික ලෙස පොල්ලකින් පහරදීමෙනි.

මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බහින්බස්වීමක් දුරදිග ගොස් අදාළ ඝාතනය සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා වතුපිටිවල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එල්ලක්කල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ ඇතිවූ ගැටුමකින් සැකකාර පුද්ගලයාගේ තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන මහාමායාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇති බවය.

ත්‍රිකුණාමලයේ පෑතිස්පුර ප්‍රදේශයේදී පිරිසක් විසින් මියගිය පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදීමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.