“ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරීනුත් වගකිව යුතුයි” – ආචාර්ය සුරේන් බටගොඩ

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ උපදෙස් දී තිබේ.

ආචාර්ය සුරේන් බටගොඩ මහතා මේ බව සඳහන් කළේ, පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී ය.

මෙම සාකච්ඡාවේදී ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම හා එහිදී මතුවන ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

එළඹෙන සතිය ඇතුළත ගෙයින් ගෙට ගොස් මේ සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ත් අවශ්‍ය නම් මාර්ගගත (online) තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ හැකියාවත් නිලධාරීන්ට පෙන්වා දුන් සුරේන් බටගොඩ මහතා ආහාර නොමැති අයට ආහාර ලබාදීමේ ප්‍රමුඛ කාර්යය අරමුණු කර ගෙන මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දුන්නේ ය.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවීම සම්බන්ධව ඇතිවන මූලික ගැටලු, වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැතිකම, බීජ හිඟතාව, කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම, පලිබෝධනාශක හිඟතාව, වගාවන් සඳහා සතුන් ගෙන්වන හානි සහ අතිරික්ත අස්වැන්න අලෙවි කර ගැනීමට පවතින දුෂ්කරතාවන් ආදී ගොවි ගැටලු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.

මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට මේවන විට පියවර ගෙන ඇති බව ත් පොහොර සහ කෘමිනාශක ආනයනයට කටයුතු කර තිබෙන අතර, ඉන්ධන සඳහා QR කෝඩ් යටතේ ඉන්ධන කෝටාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව ත් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පෙන්වා දී ඇත.

දේශීය වශයෙන් හිඟ බීජ වර්ග ආනයනය කිරීමට කටයුතු කරන බව ත්, මෙම වැඩසටහන යටතේ පිහිටවනු ලබන ජාතික පුනර්ජීවන කේන්ද්‍ර සියල්ල ඒකාබද්ධ කිරීම හරහා අතිරික්ත නිෂ්පාදන, නිෂ්පාදන ඌනතාවෙන් පෙළෙන ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රවලට සාධාරණ මිලකට අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදෙන බව ත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

“පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබා දීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි. ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුලුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේ දී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් රටේ ආහාර හිඟතාවකින් තොරව ජනතාවට ලබා දිය හැකියි. මේ ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරීන් එක් පැත්තකින් වගකියන්න ඕන. රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිත් මෙයට මැදිහත් විය යුතුයි. මෙම ආර්ථික කේන්ද්‍රය හරහා ආහාර සහ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.