පෝලිම් පැන්න පුද්ගලයා අධිකරණය ට

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය අසලට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට මහජන සාමය කඩකිරීම යටතේ චෝදනා ගොනුකිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ.

අදාළ පුද්ගලයා පෝලිමෙන් පැන වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය වෙත ළඟාවීමට උත්සාහ කළ අවස්ථාවේදී පසුගිය සිකුරාදා (16) ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවේ 28 හැවිරිදි අදාළ සැකකරු හෙට (19) අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය.

රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ පොලීම්වල සිටියදී වරදක් කළ බවට මීට පෙර ද පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර, හෙට පැවැත්වෙන අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් රාජ්‍ය නායකයින් රැසක් මේ වන විට ලන්ඩන් නුවරට පැමිණ සිටී.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ලන්ඩනයට පැමිණ ඇති බව වාර්තා විය. 

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි.

මේ අතර, රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් තවදුරටත් පෝලිම්වල රැදී සිටිති.

පුද්ගලයෙකුට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවම වශයෙන් පැය 15ක පමණ කාලයක් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බව වාර්තා වේ.

අධික ශිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පෝලිම්වල සිටින පිරිස් ගිලන් රථ මගින් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.