රුසියාවෙන් ඉන්ධන ගන්න රජයෙන් නව සැලසුමක්

රුසියානු ඉන්ධන නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය රුසියානු බලධාරීන් සමග අඛණ්ඩ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රුසියානු ස්පුට්නික් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අදාළ සාකච්ඡා ඵලදායීව සිදුවන අතර පවතින අර්බුදකාරී අවස්ථාවේ රුසියාවෙන් විශාල සහයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවය.

රටේ ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට ණය පහසුකමක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගෙන් ද ඉල්ලීමක් සිදුකර තිබූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

මාස කිහිපයක් පුරා ශ්‍රී ලංකාව දැඩි ආර්ථික හා විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටි නමුත් මේ වන විට රට සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

ගතවූ මාස කිහිපය පුරා රට තුළ පැවති සියලු විරෝධතා පාලනය කර සංචාරකයින් සඳහා සියයට සියයක් ආරක්ෂිත ගමනාන්තයක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත් කර ඇති බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ස්පුට්නික් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා ධුරය අත්හැරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පත්වූ වත්මන් ජනාධිපතිවරයා එම සියලු කටයුතු පාලනය කර ඇති අතර වර්තමානයේ රට තුළ සාමකාමී හා සන්සුන් තත්ත්වයක් මෙන්ම දේශපාලන ස්ථාවරත්වයක් ද  පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර රුසියානු ඒරොෆ්ලොට් ගුවන් යානය මෙරට රඳවා තබාගැනීම සම්බන්ධයෙන් රුසියාවෙන් සමාව අයදින බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එය විශාල අත්වැරැද්දක් බව සඳහන් කර ඇති අමාත්‍යවරයා එවැනි සිදුවීමක් යළි සිදුනොවන බවට ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

කිසිදු ගුවන් යානයක් රඳවා ගැනීමට රජයට අවශ්‍යතාවක් නොමැති අතර උද්ගතවූ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව ස්පුට්නික් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.