නුවරඑළිය නාගරික සීමාව තුළ දුරකථන සම්බන්ධතා රැහැන් කපා ඒවායේ ඇති තඹ කම්බි ඉවත්කර සොරකම්කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (23) නුවරඑළිය පොලීසිය විසින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය ඉහළ වැව පාර සහ සඳතැන්න ඇතුළු ප්‍රදේශවල පසුගිය මාස පහකට ආසන්න කාලයක් තුළ දුරකතන සම්බන්ධතා රැහැන් කපා තඹ කම්බි සොරකම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා පහකදී පොලීසියට ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගෙන තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රැහැන්වලින් ඉවත් කරන ලද බවට සැක කෙරෙන තඹ කම්බි කිලෝග්‍රෑම් 3ක්, තඹ නොවන කම්බි අඩි 344ක්, තඹ කම්බි ඉවත්කර තිබූ රබර් ආවරණ තොගයක් සහ කම්බි කැපීම සඳහා විශේෂයෙන් සකස් කළ බවට සැක කෙරෙන පිහි දෙකක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳපොළ සහ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 40 සහ 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් තඹ සහ තඹ නොවන කම්බිවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවායේ වටිනාකම තක්සේරු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිත බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද(24) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන අගෝස්තු 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහත්මිය නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


