සතොස හිටපු සභාපති ට ඇප

සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇපමත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය.

සතොස ට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේ වෙනුර ගුණවර්ධන රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසය. 

මෙම සිද්ධියේ පළමුවන සැකකරු වන සතොස හිටපු ප්‍රවාහන කළමනාකාරවරයා වන ඉන්දික හේමාල් රත්නමල්ල යන අය ලබන ඔක්තෝබර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

යූරියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පළමුවන සැකකරුට මුලතිව් අධිකරණයේ නඩුවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ඔක්තෝබර් මස 07 වනදා සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සතොස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය සතොස ජාලය හරහා මුදල් වංචා ගණනාවක් සිදුවී ඇති බව හෙළිදරව්වෙමින් පවතින බවය. 

සතොස හිටපු සභාපති සැකකාර වෙනුර ගුණවර්ධන 2021.08.25 වනදා සතොස ක්‍රියාපටිපාටියෙන් බැහැරව සැපයුම්කරුවෙකු ලියාපදිංචි කිරීමට උපදෙස් දී ඇති බවත් සේවය අත්හිටුවා තිබූ පළමු සැකකාර රත්නමල්ල යන අය නැවත සේවයේ පිහිටුවීමට මැදිහත් වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published.