පුටින්ගේ තීරණයෙන් රුසියාව රත්වෙයි

අතිරේක හමුදාව කැඳවීමට රුසියාව ගත් තීරණයත් සමඟ ඒ සම්බන්ධයෙන් එරට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට ජනතාව ප්‍රධාන නගර රැසක මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම විරෝධතාවල නිරතව සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කරනු ලැබුවේ රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙසටය.

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය. 

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය.

තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන බව ඔහු අනතුරු ඇඟවීය.

“අපේ රටේ භෞමික අඛණ්ඩතාවය ට තර්ජන එල්ල වුණොත්, අපි අපේ උපරිම ශක්තිය යොදා ගන්නවා ජනතාව රැක ගැනීමට,” පුටින් පැවසීය. 

එසේම හමුදා අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් 300,000ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.   

මෙලෙස එරට ජනතාව විරෝධය පළකරන්නේ රුසියානු ජනපති පුටින්ගේ එම තීරණයට එරෙහිවය.

මේ අතර යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඩුවම් ලබාදිය යුතු බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ විශේෂ යුධ අධිකරණයක් නිර්මාණය කරන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා එහිදි ඉල්ලීමක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මහ මණ්ඩල සැසිය අතරවාරයේ යුක්‍රේන ජනාධිපතිවරයාගේ පූර්ව පටිගත කරන ලද වීඩියෝවක් මගින් ඔහු මේ බව ප්‍රකාශ කර  තිබෙනවා.

යුක්‍රේන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැසිවාරයට පැමිණ සිටි බොහෝ පිරිසකගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.