රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60 කිරීමෙන් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයට වන බලපෑම හෙළි කෙරේ

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වෙනස්වීම මත මේ වසර අවසානය වනවිට විශේෂඥ වෛද්‍යවරු 9%ක ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රශ්න කර සිටියේ, එක්වර විශාල විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විශ්‍රාම යෑමෙන් සෞඛ්‍ය අංශය කළමනාකරණය කිරීම හා සේවා සැපයීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බවය.

එයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ තුළින් තරුණ වෛද්‍යවරුන් සඳහා ධනාත්මක පසුබිමක් ඇති වන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා,

“රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස 2022 වනතුරු අයවැය යෝජනාවක් මගින් අවුරුදු 60 ලෙස සැලකීම මත වෛද්‍ය කෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ක් බවට පත්ව ඇත. දැනට ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරු 2,278ක් පමණ සේවයේ යෙදී සිටින අතර මෙම අනිවාර්යය විශ්‍රාම වයස අවුරුදු 60 වීම මත පහත පරිදි විශේෂඥ නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් විශ්‍රාම යෑමට නියමිතය. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 222ක් ද පරිපාලන වෛද්‍ය නිලධාරීන් 27කුත් එකතුව 249ක් විශ්‍රාම ගැන්වීම මේ අවුරුද්ද අවසානයේ සිදුවෙනවා. ප්‍රතිශතයක් වශයෙන් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාවෙන් 9%ක් පමණ, විශ්‍රාම යෑමට නියමිත බැවින් ඒ ඒ රෝහල් හා ආයතනවල පුරප්පාඩු වන විෂය ක්ෂේත්‍රය අනුව අභ්‍යන්තර ස්ථානමාරු ක්‍රමවේදය අනුව තුලනය කිරීමට හැකියාව පවතින බවත් සඳහන් කරනවා.

මීට අමතරව වසර 5ක විදේශ නිවාඩු දීමේ ක්‍රමය යටතේ, තවත් වෛද්‍යවරු 3%ක් විදේශ ගත විය හැකි අතර, එම සංඛ්‍යාව ද සාමාන්‍ය වෛද්‍ය තනතුරු ආවරණය කරන ක්‍රමවේදය යටතේ සපුරාලීමට කටයුතු කර ඇත. විදේශ පුහුණුව සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරන අතර, එම පුහුණුව ලබන නිලධාරීන් අනිවාර්ය සේවා කාලයක් යටත් වේ. එබැවින් විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වෙනස් වීම මත තරුණ වෛද්‍යවරු සඳහා තම ප්‍රියතම ස්ථාන ලබාගැනීමට එය හේතුවක් වන බැවින් ද දේශීයව නිසි කුසලතාවය සහතික වෛද්‍යවරු සඳහා උසස්වීම් ලැබෙන බැවින් ද ක්ෂේත්‍රයට ධනාත්මක බලපාන බවක් පෙනී යයි.”

Leave a Reply

Your email address will not be published.