වන සංරක්ෂණයට ගත් උතුරේ අක්කර 5,000ක් වී වගාවට

වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තුව විසින් අලුතින් සීමා සලකුණු කොට අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 5,000කට අධික ඉඩම් ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කිරීම සඳහා එම පළාතේ ගොවීන් වෙත නිදහස් කිරීමට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එකඟතාව පළ කර ඇත.

උතුරු පළාතේ කිලිනොච්චි, මන්නාරම, මුලිතිව් යන දිස්ත්‍රික්කවල මේ ඉඩම් පසුගිය යුද සමයට පෙර එම පළාත්වල ගොවියන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගෙන තිබිණි.

වන සංරක්ෂණ සීමාවලින් පිටත ඇති මේ ඉඩම් කන්න කිහිපයක් වගා නොකරන ලද ඒවා වන අතර, එම ඉඩම්වල කිසිදු ගොඩනැඟිල්ලක් හෝ වෙනත් ඉදි කිරීමක් නොකර වගාව සඳහා දීමේ පදනම යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පෙරවරුවේ වනජීවි අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේ ඇමැතිවරයා මේ උපදෙස් දුන්නේය. එම අවස්ථාවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය ඇමැති කාදර් මස්තාන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. දැනට වන සංරක්ෂණ කලාපවලට අයත් එහෙත් මින් පෙර ගොවීන් විසින් වගා කළ ඉඩම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ගොවි ජනතාව විසින් කළ ඉල්ලීමක් පිළිබඳ සලකා බලමින් මේ සාකච්ඡාව පැවැත්වීය.

මේ හැර වන සංරක්ෂණ සීමා ආසන්නයේ තිබෙන එහෙත් කිසිදු ගසකට හානියක් නොවන අයුරින් මුංඇට, කව්පි හා උදු වැනි බෝග වර්ග වගා කිරීම සඳහා ද සුදුසු ඉඩම් හඳුනාගෙන ඒවාද වගාව සඳහා ගොවි ජනතාවට දෙන්නැයිද කෘෂිකර්ම ඇමැතිවරයා මෙහිදී කීය.

එළඹෙන මහ කන්නයේදී පළමුවෙන්ම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් යාපනය දිස්ත්‍රික්කයට දුන් බව කී ඇමැති අමරවීර මහතා මහ කන්නයේ අස්වනු සාර්ථක කර ගැනීම සඳහා උතුරේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කළේය. මෙවර මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර රුපියල් 10,000ක මුදලකට දෙන අතර, ගොවීන් කැමති කාබනික පොහොරක් මිලදී ගැනීමට රුපියල් 20,000ක සහනාධාර මුදලක් දීමටද මියුරේට් ඔෆ් පොටෑෂ් නැතහොත් බණ්ඩි පොහොරත් දීමටද කටයුතු යොදා ඇතැයිද අමරවීර මහතා මෙහිදී කීය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දෙන යූරියා පොහොර හොණ්ඩර 375,000ක් නොමිලයේම ගොවි පවුල් 375,000කට දෙන බැවින් මහ කන්නය සාර්ථක කර ගැනීමට සහාය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතා කීය.

Leave a Reply

Your email address will not be published.