අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් නිකුත්කළ ගැසට්ටුවට එරෙහිව පෙත්සමක්

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් එම පෙත්සම ගොනු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවය.

රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත්කර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරු අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසයි.

ඒ අනූව තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටියි.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published.