බන්ධනාගාර නියාමකගේ බිරිය ඝාතනය මත්කුඩු ආරවුලක්

සාදයකට ආරාධනා කර අතර මඟ රැක සිට බන්ධනාගාර නියාමකවරයකු ගේ බිරියකට කඩුවකින් කොටා ඝාතනය කිරීම මත්කුඩු ආරවුලක් මුල්කරගෙන සිදුවූවක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 23 වෙනිදා රාත්‍රියේ බොරුපන පාලම අසලදීය. එහිදී ඝාතනයට ලක් වන්නේ ගල්කිස්ස බඩෝවිට පදිංචිකාරියක් වූ ඊ. චතුරානි නමැත්තියකි.

ඇය මෑතකදී විවාහ වූ සිය සැමියා වූ එස්.ඩී.සිල්වා නමැති බන්ධනාගාර නියාමකවරයා සමඟ යතුරු පැදියක නැගී ගමන් කරමින් සිටියදී ඔවුන්ව හඹාගෙන තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර තිබේ. එහිදී ඇය එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර ඇගේ සැමියා වූ බන්ධනාගාර නියාමකවරයා බරපතල කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇත. සිය මිතුරියකගේ සාදයකට සහභාගි වීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මන්නා පිහියකින් පහරදී තිබේ.

එස්.ඩී.සිල්වා නැමැති බන්ධනාගාර නියාමකවරයාද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පහරදීම සිදුවන විට ඒ අවට පදිංචි පිරිසක් විසින් මැදිහත්ව එක් සැකකරුවෙක් අල්ලා බොරලැස්ගමුව පොලීසියට භාර දී ඇත.ඩී.ඒ. ප්‍රියරංග නැමැති ඔහු ගෝනපල කුඹුකවෙල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. යතුරු පැදියේ පසු පැදිකරු ලෙස රැදී සිටිමින් බන්ධනාගාර නියාමකවරයාටත් ඔහුගේ බිරිඳටත් කඩුවෙන් කොටා ඇත්තේ ඔහු බව පොලිසිය කියයි. ඔහු පැමිණි යතුරු පැදිය පදවා ඇත්තේ නියාමකවරයාගේ බිරියට සාදයකට එන්නැයි කියා ඇමතුමක් දී කැඳවූ පුද්ගලයා බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම පුද්ගලයාද ගල්කිස්ස බඩෝවිට පදිංචිකරුවෙක් බවත් ඇගේ සමීපතමයෙක් බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. දුරකතන ඇමතුම දෙමින් ඔහු පවසා ඇත්තේ සාදය පැවැත්වෙන ස්ථානයට එන මාර්ගය දැන ගැනීමට බඩෝවිට පාලම අසලට පැමිණ ඇමතුමක් දෙන ලෙසය. ඒ අනුව ඔවුන් ඇමතුම දෙන අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු පවසා ඇත්තේ තමන් කිසි දෙයක් නොදන්නා බවත් තමාට කීවේ යතුරු පැදියේ පැමිණෙන දෙදෙනාට කඩුවෙන් කොටන ලෙසත් බවය. ඒ අනුව තමා ඒ කටයුතු කළ බවත්, ගම්වැසියන් එන විට තමාව හසු වූ බවද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. මත්කුඩු ගැනීමට බඩෝවිට පැත්තේ ගිය අවස්ථාවකදී තමා ඔහුව දැන හඳුනාගෙන මිතුරන් බවට පත්වූ බවත්, ඔහු පොලිසියට පවසා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඝාතනය වූ කාන්තාව ද මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි තැනැත්තියක් බව පොලීසිය කියයි. ඇගේ දෙමාපියන්ද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවත් මෙම නියාමකවරයා ඇයව දැන හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරයේ දී බවත් පොලිසිය කියයි. ඇය කලින් විවාහ වී සිටි තැනැත්තියක් බවත් සැමියා මිය ගොස් ඇති බවත්, පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. බන්ධනාගාර නියාමකවරයා ඇය විවාහකරගෙන ඇත්තේ මෙයට මාසයකට පමණ පෙර බවත් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ විහාර මාවතේ බවත් පොලිසිය සඳහන් කළේය. මෙම ඝාතනය පිටුපස මෙතෙක් හෙළි නොවූ අභිරහසක්ද ඇති බැවින් ඒ ගැන ද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. සාදයකට පැමිණෙන ලෙස දැනුම් දී බොරුපනට ගෙන්වා ගත්තේ යැයි කීවත් සැබෑ ලෙසම සාදයක් යැයි කියා ඇයව එහි ගෙන්වා ගත්තේද නැති නම් වෙනත් කරුණක් මුල් කරගෙන ගෙන්වා ගත්තේ දැයි විමර්ශනයට ලක්වෙමින් ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.