රුසියාවෙන් ආවේ බාල තෙල් – වෘත්තීය සමිති

වර්තමාන විදුලි අර්බුදයට තවත් එක් හේතුවක් වී ඇත්තේ බාල බොරතෙල් ආනයනය බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කරයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බොරතල් පිරිපහදුවෙන් ලබාගන්නා දැවිතෙල් විදුලි උත්පාදනය සඳහා යොදාගැනීමට හැකියාවක් නොමැති බවය.

රුසියාවෙන් මෙරටට ආනයනය කළ බොරතෙල් ප්‍රමිතියෙන් තොර බැවින් ඒවා විදුලි ජනනයට භාවිත කළ නොහැකි බවට මහජන උපයෝගීතා කොමිසම සහ විවිධ වෘත්තිය සමිති පසුගිය දින කිහිපයක සිටම එලෙස චෝදනා කර තිබුණි.

එම වෘත්තිය සමිති පවසන පරිදි අවස්ථා දෙකකදී රුසියාවෙන් මෙම බොරතෙල් ආනයනය කර ඇති අතර එක්වරක මෙට්‍රික් ටොන් 45,000ක් සහ පසුගිය අගෝස්තු 23 වනදා මෙට්‍රික් ටොන් 125‍,000ක තොගයක් ආනයනය කර තිබේ.

අවසන් වරට ආනයනය කළ බොරතෙල් තොගයෙන් තවත් මෙට්‍රික් ටොන් 50,000ක පමණ තොගයක් පිරිපහදු කිරීමට ඉතිරිව ඇති බව වෘත්තිය සංගම් පවසති.

මෙම බොරතෙල් ප්‍රමිතියෙන් තොර බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.

ට්විටර් පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා ඊයේ සඳහන් කර තිබුණේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට නෛතිකව මේ සඳහා ප්‍රතිචාර දක්වන බවය.

කෙසේවෙතත් අමාත්‍යවරයාගේ එම ට්විටර් සටහනට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද ප්‍රතිචාර දැක්විය.

එහිදී ඔහු සඳහන් කළේ,

“මෙතනදි වගකීම විය යුත්තේ වැරැද්ද පෙන්නපු කෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නෙමෙයි වැරැදක් වෙලා තියෙනවා ද කියලා හොයලා බලන එක.”

Leave a Reply

Your email address will not be published.