පෙම් පළහිලව්වක් නිසා ඇමති පුතා සිසුන් දෙදෙනෙකුට පහරදීලා

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඒ, කිරිබත්ගොඩදී පාසල් ළමුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙනි.

ඔවුන් පහරදීම සඳහා පැමිණි මෝටර් රථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටට පැමිණි තරුණයින් කණ්ඩායමක් විසින් එහි සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර තිබුණේ පසුගිය 26 වනදාය. 

පොලීසිය පැවසුවේ ඒ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ 20 හැවිරිදි පුත්‍රයා ද සිට ඇති බවය.

අනතුරුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලීසිය විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක්දීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතුවී ඇති බවය.

එමෙන්ම පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.

සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති අතර සැකකරුවන් පස් දෙනාද කිරිබත්ගොඩ පොලීසිය විසින් පොලිස් ඇප මත මුදාහැර තිබුණි.

Leave a Reply

Your email address will not be published.