හිටපු CID අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්නගේ නොතීසි අත්හිටුවන්නැයි නියෝග

නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයේ තිබූ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සැකකරු වෙත මුදා හැරීමේ චෝදනාවකට සම්බන්ධ බව කියන බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහි නඩුවේ අල්ලස් කොමිසමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණය නිකුත් කර තිබූ නොතීසිය අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (27) නියෝග කළේය.

සිද්ධියට අදාළව නිසි විමර්ශනයක් සිදු නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රෝහාන් ප්‍රේමරත්න මහතා අපහසුතාවට පත් කිරීමට සැලසුම් සහගතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක දෙක පොලිස් පරීක්ෂක බී.එස්. අ‍බේරත්න නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කරමින් එම නඩුවේ නියෝග අත්හිටුවමින් නඩුව බහා තබන ලෙසට අධිකරණය හමුවේ කළ ඉල්ලීම සලකා බලමිනි.

ඉකුත් 5 වැනි දින බී වාර්තාවක් මඟින් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති නි‍යෝග හා චෝදනා මෙතෙක් කරන ලද විමර්ශනයේදී තහවුරු වී නැති බවත් මේ විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120(3) යටතේ විමර්ශනය කර අවසන් වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ සිද්ධියට අදාළ ප්‍රවෘත්තිය පුවත්පත්වල පළ වීමෙන් අනතුරුව බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රෝහාන් ප්‍රේමරත්න මහතා තමන් සම්බන්ධ අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් කරමින් විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා වෙත ලිඛිතව කරන ලද ඉල්ලීම අනුව මේ විමර්ශනය ආරම්භ කළ බවට කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයා වෙත දැන්වීය.

ඒ අනුව 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා යන අය අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රෝහාන් ප්‍රේමරත්න මහතා සිටි කාලයේදී මහජන සාමය අමාත්‍යාංශය වෙත නිර්ණාමිකව ලද පෙත්සමක් අනුව පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව මේ සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකක 2 පොලිස් පරීක්ෂක බී.එස්. හේරත් මහතා පැවැත්වූ බවට කරුණු අධිකරණයට සඳහන් කර තිබිණි.

මේ විමර්ශනයේ සත්‍ය අසත්‍ය කරුණු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු රේගුලාසි චක්‍රලේඛ අනුව විමර්ශනයක් පොලිස්පති නියෝගයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්ති යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පවත්වන බවට එහි වැඩිදුරටත් කියැවෙයි.

පෙත්සම අනුව විමර්ශනය කළ 2021/9/8 බී 47361/5 නඩු‍වේ අහමඩ් ‍ෆයාස් මොහෙ‍මඩ් උමර් යන අයගේ නිවෙසේ තිබී සොයා ගත් රුපියල් 7,543,110 යන මුදල මුදාහැරීමට විමර්ශන නිලධාරීන්ට බලපැම් කළ බව එම බී වාර්තාවේ සඳහන් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හයදෙනකුට ආසන්න පිරිසකගේ ගන්නා ලද ප්‍රකාශ අනුව එවැනි කරුණු අනාවරණය නොවන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.

තවද මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකක 2 පොලිස් පරීක්ෂක බී.එස්. ජයරත්න මහතා නඩු භාණ්ඩ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකර සැලසුම් සහගතව අල්ලස් පනතේ 70 දූෂණය ‍යටතේ මෙන්ම වංචා දූෂණ ක්‍රියා යනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර අල්ලස් කොමිසමට නොතීසියක් නිකුත් කිරීමට අධිකරණ නියෝග ගෙන ඇති බවට මේ පැමිණිල්ලේ සඳහන්ය.

තවද අධිකරණය හමුවේ තිබූ නඩු භාණ්ඩ වන රුපියල් ලක්ෂ 75කට අධික මුදල නීති විරෝධී මුදලක් නොව නීත්‍යානුකූල මුදලක් බැවින් සැකකරු වෙත මුදාහැරීමක් කර ඇති බවට සාක්ෂි මඟින් කරුණු අනාවරණය වන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ අල්ලස් කොමිසම වෙත නිකුත් කර ඇති නොතීසි නියෝගය අත්හිටුවා නඩුව බහා තබමින් විමර්ශනය සම්බන්ධ වාර්තාවක් කඩිනමින් අධිකරණයට වහා ගොනු කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නේවිල් සිල්වා උප පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

Leave a Reply

Your email address will not be published.