රට රැකියාවලට යන ඔබට විශේෂ නිවේදනයක්

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස්කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත විමර්ශන මෙහෙයවා ඇත.

ඒ අනුව, විමර්ශන නිලධාරීන් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැස්කර ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.1500 බැගින් මුදල් අයකර ඇති බව හෙළිව තිබේ.

එම ස්ථානයේ තිබී රු.77,000ක මුදලක්ද, බර කිරන තරාදිය, ඇස් පෙනීම පරීක්ෂා කරන අක්ෂර හා ඉලක්කම් පුවරු දෙකක්, කොරියාවේ හා ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණ්ඩ වශයෙන් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධිව තරුණ තරුණියන් රැකියා සඳහා බඳවා ගැනීමට උත්සහ කිරීමේ වරදට අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, රුපියල් ලක්ෂ ‍2ක ශරීර ඇප මත මුදා හැර තිබේ. 

නඩුව ඔක්තෝම්බර් 28 දින යළි කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.