වනජීවියේ වසරක අලි වෙඩි වියදම මිලියන 2,800ක්

වනඅලින් පලවා හැරීමට අලි වෙඩි සඳහා රජය වසරකට රුපියල් මිලියන 2,800ක් වැය කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අලි වෙඩි දේශීය ගිනිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර, වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවලදී ඔවුන් පලවා හැරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් එම ගම්මානවල ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි. ඒ සඳහා රජයේ මුදල්වලින් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

ඇතැම් ගම්මානවල ජනතාව වන අලින් ගම් වැදුණු අවස්ථාවල ඔවුන් පලවා හැරීම සඳහා වනජීවි නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට ජනතාව විසින් කරන චෝදනා සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙහිදී කරුණු විමසීමක් කළේය.

ගම්වලට වනඅලින් ගම්වැදුණු අවස්ථාවල එම ගම්වල ජනතාව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නත්, මේ වනවිට පවතින ඉන්ධන සීමා නිසා ඇතැම් අවස්ථාවල වනජීවි නිලධාරීන්ට නියමිත වේලාවට අදාළ ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතාද මතුව ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී ඇමැතිවරයා හමුවේ කරුණු පැහැදිලි කළහ.

දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු විය හැකි බවද ඔවුහු අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published.