රත්නපුර පාරිභෝගික අධිකාරියේ වංචා-දූෂණ ගැන විමර්ශනයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානියෙක් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සිය තනතුරු යොදා ගනිමින් කර ඇති බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඉකුත් (27) දින විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කියයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රක් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනකු කාලයක් තිස්සේ කර ඇති බව කියන වංචා හා දූෂණ ක්‍රියා පිළිබඳ එහි සේවකයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 10 දා යොමු කර ඇති ලිඛිත පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

චෝදනා ලත් නිලධාරීන් තිදෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට, පැල්මඬුල්ල, ගොඩකවෙල, පල්ලේබැද්ද, ඇමිලිපිටිය, රක්වාන, කිරිඇල්ල, බලංගොඩ, කහවත්ත, එරත්න යන ප්‍රදේශවල තොග වෙළෙඳසල් තිහකට අධික සංඛ්‍යාවකින් නඩු නොලියා අල්ලස් වශයෙන් මාසිකව රුපියල් හත් ලක්ෂයකට අධික මුදලක් ගෙන ඇති බවට ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිලධාරීන් තොග වෙළෙඳුන්ගෙන් අල්ලස් ගැනීමට යෑම නිසා මාසයකට දින ගණනාවක් කාර්යාලයට නොපැමිණෙන බවත් එදින එම කාර්යාලයේ නිලධාරීන් විසින් කිරීමට නියමිත සියලු වැටලීම් නවතා දැමීමට සිදුවී ඇති බවත් චෝදනා අතර සඳහන් වේ.

මේ චෝදනාවන්ට අමතරව එම නිලධාරීන්ට පිටු හතක විශාල චෝදනා ප්‍රමාණයක් එහි සේවකයන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

මේ තරම් චෝදනා ලත් නිලධාරීන් එම කාර්යාලයේම සේවයේ පිහිටුවා සිටියදීම ආරම්භ කර ඇති පරීක්ෂණ කටයුතු පිළිබඳ සෑහීමකට පත් වීමට නොහැකි බවත් එම නිසා චෝදනා ලද්දන්ට ස්ථාන මාරු දීමෙන් පසුව පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නම් හෙළි කිරීමට අකමැති සේවකයෝ පිරිසක් පැවසූහ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෘත්තීය සංගම් කිහිපයක් විසින්ද මේ මස 14 දාතමින් යුතු ලිපියකින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. කොඩිකාර මහතා වෙත ලිපියක් යොමු කරමින් එම නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇත.

එම ලේඛනයෙන් වෘත්තීය සංගම් වැඩි දුරටත් ඉල්ලීම් කර ඇත්තේ චෝදනා ලද නිලධාරීන් පිරිසට ස්ථාන මාරු සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් සිදු කොට ඇති බව කියන වංචා, දූෂණ, විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නිසි විමර්ශන කරන ලෙසය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගෙන් මේ පිළිබඳ දුරකතනය හරහා විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම විෂය මධ්‍යම රජයට අයත් බැවින් එම දූෂණ චෝදනා පිළිබඳ තමන්ට තොරතුරු ලද සැණින් ඒ පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරියවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලධාරීන් දැනුම්වත් කළ බවකි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් තිදෙනකු එම චෝදනා ලබා ඇති බවට තමන්ට එම නිලධාරීන් පසුව දැනුම් දී ඇති බවකි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. කොඩිකාර මහතාගෙන් මේ පිළිබඳ දුරකතනයෙන් විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශයේ ප්‍රධාන විගණක නිලධාරිවරයා ඒ සම්බන්ධව පරීක්ෂණ කිරීමට පත් කළා.

ඊට අමතරව දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසම දැනුම්වත් කළා. පාරිභෝගික අධිකාරියේ කිසිම නිලධාරියෙක් මේ පරීක්ෂණයට සම්බන්ධ කරගෙන නැහැ. අමාත්‍යංශයේ නිලධාරීන් ඍජුවම පරීක්ෂණ කටයුතු කිරීමට යොමු කළා.

මේ චෝදනා තවම පැමිණිල්ලක් පමණයි. තහවුරු කිරීමක් කොහෙත්ම නැති නිසා චෝදනා ලද නිලධාරීන් වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවීමක් හෝ ඒ අයට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ. නමුත් මූලික පරීක්ෂවලින් පසුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නවා යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published.