සනත් නිශාන්ත ට සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.

එම නියෝගය තුළින් වග උත්තරකාර සරත් නිශාන්ත මහතාට නියෝග කර ඇත්තේ ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසය.

ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව අද (29) දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝග නිකුත් කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ,  ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර ඇති බවය. 

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සම්වල සඳහන් වේ.

එසේ තිබිය දී අගෝස්තු මස 23 වන දා පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සම්වලින් චෝදනා කර තිබේ.

එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කොට ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳහෙළීමට ක්‍රියා කර ඇති බවත් සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවද පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.