‘ආමි සුරංග’ වල්පොළදී අත්අඩංගුවට

12 දක්වා රිමාන්ඩ්

වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ 2014 වසරේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති අපේක්ෂක දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි තැබීමක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල අපරාධකරුවකු වන‘ආමි සුරංග‘ නමැත්තා සහ ඔහුගේ ගෝලයකු ගිනිඅවියක් සමඟ මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වල්පොළදී පෙරේදා (27) රාත්‍රි කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යම් අපරාධයක් කිරීමේ සූදානමින් බුද්ධික ප්‍රසාද් නොහොත් ආමි සුරංග නමැති අපරාධකරු තවත් අයකු සමඟ යතුරු පැදියක නැඟී ගමන් කරමින් සිටින බවට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සී.එස්. කුමාර මහතාට ලද තොරතුරකට අනුව වල්පොළ හංදියේ කළ හදිසි සෝදිසියකදී මේ අපරාධකරුව ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

පාසල් සිසුන් පොත්පත් රැගෙන යන ආකාරයේ බෑගයක මේ ගිනිඅවිය දමාගෙන ඔහු ගමන් කරමින් සිටි බව පොලිසිය කියයි.

එම බෑගයේ වෑන් රථයක ඉදිරිපස සහ පිටුපස අංක තහඩු දෙකක්ද තිබී ඇත. එම අංක තහඩු දෙකේ පිටුපස ඩබල් ටේප් අලවා තිබුණු බව පොලිසිය කියයි. එසේ ඩබල් ටේප් අලවා ඇත්තේ ඕනෑම අවස්ථාවක වෑන් රථයක හෝ මෝටර් රථයක එම අංක තහඩු ටේප්වලින් අලවා නැවත ගලවා ගැනීමේ පහසුව සඳහා බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

මෙසේ අංක තහඩුවක් රැගෙන යන්නේ ඇයි දැයි කළ ප්‍රශ්න කිරීමේදී ඊට නිසි පිළිතුරක් දීමට නොහැකි වී තිබේ. පොලිසිය විශ්වාස කරනුයේ මේ අංක තහඩුව ගසාගෙන මෝටර් රථයකින් ගොස් යම් අපරාධයක් කිරීමේ සැලසුමක් තිබී ඇති බවය.

ඊට අමතරව එම බෑගයේ වැලි සහ පස් ප්‍රවාහනයට අදාළ ලියැවිලි කිහිපයක්ද තිබී ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ ආමි සුරංග පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ ගිනිඅවිය සිය සහෝදරයා වන රංගට අයත් එකක් බවය. ගොත අසංක නමැති පාතාලයේ ප්‍රබලයාගේ ගෝලයකු වන රංග ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු බව පොලිසිය කියයි. ආමි සුරංග පවසා ඇත්තේ සිය සහෝදරයා වන රංග ගිනිඅවිය තමාට දී සති දෙකකට පෙර ඩුබායි බලා පිටත්ව ගිය බවය.

සැබෑ ලෙසම රංග නමැති අපරාධකරු ඩුබායි බලා ගොස් තිබේ දැයි සොයා විමර්ශනයක් මේ වන විටත් ආරම්භ වී තිබේ.

ආමි සුරංග නමැති මේ සැකකරු හිඹුටානේ ගොඩඋඩපාරේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිය සහ දරුවන් බණ්ඩාරවෙල පදංචිව සිටින බවත් හිඹුටානේ නිවෙසේ රැඳී සිටින්නේ මිත්තණිය සමඟ බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචිකරුවෙකි. ඔහුට එරෙහිව මෙතෙක් අපරාධ චෝදනා කිසිවක් සොයා ගැනීමට නැතැයි පොලිසිය කියයි. එහෙත් ආමි සුරංගට එරෙහිව ජනාධිපතිවරණ සමයේදී උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති දේශපාලන රැස්වීම් වේදිකාවට වෙඩි තැබීමට අමතරව 2018 වසරේදී පිස්තෝලයක් ළඟ තබාගෙන පෑලියගොඩ පොලිසියට හසුවීමක්ද පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පොලිස් හැඳුනුම්පතක් ව්‍යාජව සකස් කර ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් 2020 වසරේදී මිරිහාන පොලිසියට හසුවීමක් සම්බන්ධයෙන්ද නඩු විභාගයන් පැවැත්වෙන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published.