පන්දු යැවීමේදී විවිධ වෙනස්කම් ගැන පුහුණු වුණා – දසුන්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇති බවය.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් කරුණු දැනුවත් කිරීමට අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය. 

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේ,

“ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර පුහුණු තරගවලට සහභාගී වුණා. ඔවුන් සූදානම්. ආසියානු කුසලානය ගැන හිතලා අපි දැන් වැඩ කරන්නේ නැහැ. ඒක ඉතිහාසය විතරයි. දැන් අපේ අරමුණ අලුත් තරගාවලිය.”

“චරිත් ගැන අපිට කොයිවෙලාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුගේ දක්ෂතාවයට ඔහු අනිවාර්යයෙන්ම එනවා.”

“පන්දුයැවීමේ බලය වැඩිකර ගැනීමට අපි අවධානය යොමු කළා. තරගයකදී පන්දුවෙන් කරන්න පුළුවන් විවිධ වෙනස්කම් ගැන අපි පුහුණු වුණා. ඒක තමයි අපේ පුහුණු සැසිවලදී සිදුවුණේ.”

“වනිඳු ට ඕනෑම තත්ත්වයක් යටතේ පන්දුයවන්න හැකියාවක් තිබෙනවා.”

“ධනංජයව බලන්න වෙන්නේ ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තමයි. නමුත් ඔහු අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්නවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙයකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ඔස්ට්‍රේලියාවේලී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

Leave a Reply

Your email address will not be published.