කොටුවෙන් පෙරවරු 6.30ට
මහනුවරින් සවස 4.50ට
කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගි සති අන්ත දුම්රියක් අද සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පෙරවරු 6.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18ට නුවරට ළඟා වන බවත් නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රි 7.40ට කොළඹ කොටුවට ළඟා වන බවද ඇමැතිවරයා කීවේය.
සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ දෛනිකව වැඩි වන මඟී අවශ්‍යතා අනුව බව කියා සිටි ඇමැතිවරයා පළමු පන්තියේ ආසනයක් රුපියල් 2,000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1,500ට මිල දී ගත හැකි බවත් කියා සිටියේය.
මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මේ දුම්රිය යොදවන බව කියා සිටි ඇමැතිවරයා සුඛෝපභෝගි, විශ්වසනීය මෙන්ම ආරක්ෂිත සේවාවක් සැපයීම මේ සේවාවෙන් සිදු වන බවද හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුර අටමස්ථානය වන්දනා කිරීම සඳහා යන ජනතාවට කොළඹ කොටුව අනුරාධපුර නව විශේෂ දුම්රිය සේවාවක් නුදුරේදීම ආරම්භ කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාතිලක, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ යන මහත්වරු එක් වූහ.