අඩි 3000ක් ඉහළින් පියෑඹූ මියන්මාර ගුවන්යානයක මගියකුට වෙඩි ප්‍රහාරයක්

අඩි තුන්දහසකට වඩා උසකින් පියාසර කරමින් තිබූ මියන්මාර ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියකුට වෙඩි පහරක් වැදීමේ අසාමාන්‍ය සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියන්මාරයේ නෙපිඩෝ අගනුවර සිට ලොයිකෝ නගරය බලා පියාසර කරමින් තිබූ ඒටීආර් – 72 වර්ගයේ මේ දේශීය ගුවන් යානයට වෙඩි පහර එල්ල වී ඇත්තේ ගොඩබෑමට මොහොතකට පෙරය. ඒ මොහොතේ ගුවන් යානය අඩි 3,280ක් ඉහළින් පියාසර කරමින් තිබූ බවත්, ගුවන් යානයේ බඳ පසාරු කරමින් එම වෙඩි උණ්ඩය 27 හැවිරිදි මගියකුගේ ගෙලට වැදී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඒ මොහොතේ ගුවන් යානයේ මගීන් 63 දෙනකු ගමන් කරමින් සිටි අතර, ගුවන් යානයේ බඳට හානි වූවද යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට නියමුවන් සමත් වී ඇත. වෙඩි පහර වැදීමෙන් තුවාල ලැබූ මගියා පසුව රෝහල් ගත කර ඇත. ගුවන් යානයට වෙඩි වැදුණු බවට එහි නියමුවා ලොයිකෝ ගුවන් තොටුපළේ බලධාරින්ට පණිවිඩයක් යොමු කිරීමෙන් පසු මියන්මාර හමුදාව ගුවන් තොටුපළට දැඩි ආරක්ෂාවක් සැලසීමට පියවර ගෙන ඇති අතර, වහාම අවට පළාතේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published.