දින 2ක් තුළ රු. බිලියන 323 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 412.81 ක හෙවත් 4.28% ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 9,237.05 ක් ලෙසින් සටහන්ව තිබුණි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 173.66 ක් එනම් 5.70% පහළ යාමක් දිනය තුළ වාර්තා කර තිබුණි. එහි අගය දිනය අවසානයේ දී දැක්වුණේ ඒකක 2,875.21 ක් ලෙසයි.

රු. බිලියන 4.54 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

මේ අතර පසුගිය සතියේ සිකුරාදා (සැප්තැම්බර් 30) ගනුදෙනු අවසානයේ දී රු. ට්‍රිලියන 4,341.12 ක් ලෙසින් සටහන්ව තිබු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (04) දින ගනුදෙනු අවසානයේ දී රු. ට්‍රිලියන 4,017.23 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.

මේ අනුව ඊයේ (03) සහ අද (04) දෙදින තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇති වටිනාකම රු. බිලියන 323.88 ක් වේ.

අද දින මිල දර්ශකවල කඩා වැටීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, ලංකා අයි.ඕ.සී., වැලිබල් වන්, හේලීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන ඉහළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකමු කියනු ලබන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපා තිබුණි.

අද දින සියලු කොටස් මිල දර්ශකයට සමාගම් 206 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි. සමාගම් 18 කින් පමණක් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.

මේ අතර අද දින ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතකින්, එනම් පෙරවරු 10.11 ට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට වඩා 5% ක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවිය. අනතුරුව නැවත වරක් දෛනික ගනුදෙනු ආරම්භ වූයේ පෙරවරු 10.41 ටයි.

Leave a Reply

Your email address will not be published.