සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදෙයි

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම Dialog Axiata සමාගමේ ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුනි.

මෙම සංචාරක ඉන්ධන අවසරපත මගින් විදෙස් සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙයි.

ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව සලසා ඇති අතර දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ LIOC ඉන්ධන පිරවුම්හල්වලින් එම පහසුකම ලබාගත හැකිවනු ඇති.

සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීම වෙනුවෙන් Dialog Axiata සමාගම සමඟ MilleniumIT ESP ආයතනය තාක්ෂණික සහයෝගිත්වය දක්වා තිබේ.

මේ අතර ඔක්තෝබර් 01 වැනිදා සිට රජය අයකරන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ( SSCL) හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සහ අන්තර්ජාල දත්ත ඇතුළත් පෙරගෙවුම් හා පසුගෙවුම් සේවා ගාස්තු ඉහළ නංවන බව දුරකතන සමාගම් නිවේදනය කර තිබේ.

ඒ යටතේ මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තුද ඉහළ නංවා ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හෙලසිරි රණතුංග මහතා සඳහන් කළේ මෙලෙස දුරකතන ගාස්තු ඉහළ නැංවීම සඳහා සිය කොමිසම මෙතෙක් අනුමැතිය ලබාදී නොමැති බවය.

දුරකථන ගාස්තු ඉහළ නංවන්නේනම් ඒ සඳහා සිය කොමිසමේ අනුමැතිය අනිවාර්ය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.