ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ.

ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

එහිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට (07) දිනය තුළ ද අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය සම්මත කරගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමු වරට අද රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට කෝප් කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි නව සභාපතිවරයෙකු තෝරා පත් කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර ජාතික සභාව දෙවන වරටත් අද දින රැස්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ජාතික සභාවෙන් ඊයේ (05) දිනයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඉවත් වුණි.

තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුව සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරම් ජාතික සභාවට පත්කරනු ලැබීය.

ඊට අමතරව පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා ද ජාතික සභාව සඳහා නම් කර තිබේ.

ජාතික සභාව පළමු වරට පසුගිය 29 වැනිදා රැස් වූ අතර පාර්ලිමේන්තුව රැස්වන සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනයේ එය රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.