දුම්රියක් තුළදී මගීන්ගේ මුදල් කොල්ලකයි

කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙක් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් තිබූ මුදල් පසුම්බියක් ද කොල්ලකා තිබේ.

අද (06) උදෑසන කොළඹ සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ අදාළ දුම්රිය අඟුලාන දුම්රිය ස්ථානයට අලුයම 05.30 පමණ ළඟාවී ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා දුම්රියට ගොඩවී ඇත.

පසුව සැකකරුවන් අදාළ දුම්රියේ ගමන්ගත් අඹු-සැමි යුවළක් බියවද්දා කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා තිබේ.

එහිදී පිරිමි පුද්ගලයා මුදල් පසුම්බිය ලබාදීමට විරෝධය පා ඇති අතර සැකකරුවෙක් විසින් එම පුද්ගලයාගේ එක් අතකට කඩුවෙන් කොටා කාන්තාවට ද පහර දී ඇති බව වාර්තා විය.

එහිදී දුම්රියේ ගමන්ගත් තවත් මගීන් කිහිපදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරුවන් ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන පළාගොස් තිබේ.

ලුනාව ප්‍රදේශයේදී සැකකරුවන් එලෙස පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව මොරටුව පොලීසිය වහාම එම ස්ථානයට පැමිණ ඇත.

එහිදී ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන්න එක් සැකකරුවෙක් තුවාල ලබා දුම්රිය මාර්ගයේ වැටී සිටියදී පොලීසිය භාරයට ගෙන තිබේ.

අනෙක් සැකකරු රන් මාලය සහ රුපියල් ලක්ෂ 2ක් සහිත මුදල් පසුම්බිය රැගෙන පළාගොස් ඇත.

සිද්ධියට මුහුණදුන් අඹු-සැමි යුවළ පල්ලෙමුණ දකුණ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණ ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ඇති යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින් බවද පොලීසිය පවසයි.

කඩු ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිසට සිදුවූ  තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර මෙම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවූ පුද්ගලයක් බවත් ඔහු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් මොරටුව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම්  දෙකක් යොදා ඇති බව මොරටුව පොලීසිය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published.