නිවසේ සිදුවූ අනතුරකින් දරුවෙක් ට දිවි අහිමි වෙයි

මවගේ කොණ්ඩා බූලයක් ගෙලට දමාගත් 08 හැවිරිදි පිරිමි දරුවෙක් ගෙල සිරවීමෙන් මිය ගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලැබූ රුවන් මතීෂ පෙරේරා නම් දරුවෙකි.

සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගල නිවසකට සහභාගී වී  සිට තිබේ.

මියගිය දරුවාගේ වැඩිමල් සහෝදරිය ද ඒ මොහොතේ අමතර පන්තියකට ගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රැකියාව නිමවී නිවසට පැමිණ ඇති පියා කාමරය වෙත ගොස් බැලීමේදී දරුවාගේ සිරුර බිත්තියක එල්ලෙමින් තිබෙන අයුරු දැක වහා හොරණ මූලික රෝහලට රැගෙන යෑමට පියවර ගෙන තිබේ.

ඒ මොහොතේ හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් දරුවාගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණ ද දරුවා මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

පොලීසිය සිදුකර ඇති මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ දරුවා පුටුවකට නැග කොණ්ඩ බූලය ගෙලෙහි දමාගෙන පසුව එය බිත්තියේ තිබූ ඇණයට පටලවාගෙන පුටුවෙන් බිමට පනින්නට උත්සාහ ගෙන ඇති බවය.

නමුත් අවාසනාවන්ත ලෙස පුටුව පෙරළී දරුවාගේ ගෙලෙහි තිබූ කොණ්ඩා බූලය බිත්තියේ ගසා තිබූ ඇනයේ පැටලී එම අනතුර සිදුවී තිබේ.  

දරුවා පදිංචිව සිටින නිවස ආසන්නේ පුද්ගලයෙක් පොලීසියට පවසා ඇත්තේ, දරුවාගේ නිවස ආසන්නයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මීට වසරකට පමණ පෙර නිවසක කොන්ක්‍රීට් කණුවක එල්ලීමෙන් මියගොස් තිබූ බවය. එම සිද්ධිය දරුවා සියැසින් දැක තිබූ බවත් ඔහු පවසා තිබේ.

පසුගිය දිනෙක දරුවා ද වයරයක් ගෙන ඒ ආකාරයෙන්ම එල්ලීමට උත්සාහයක් දරා තිබූ බවට අසල්වැසියෙකුගෙන් දැනගන්නට ලැබුණු බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, එම දරුවා අත්හදා බැලීම්වලට වැඩි නැඹුරුතාවයක් දක්වන දරුවෙකු බවට ප්‍රදේශවාසියෙක් පවසා සිටි බවය.

Leave a Reply

Your email address will not be published.