හරක්කටා ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

මෙරට ආරක්ෂක අංශ වෙත අවශ්‍යකර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වූ නඳුන් චින්තක නොහොත් ‘හරක්කටා’ ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිට මුදාහැරි බව කියන සිද්ධිය ගැන පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ සැකකරු මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී කිසිදු ප්‍රමාදවීමක් සිදු නොවූ බවය.

එහි දැක්වෙන්නේ,

ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වූ නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ඔක්තෝම්බර් මස 03 වන දින ඩුබායි පොලීසිය විසින් මුදාහැරි බවත්, එයට මුල්වී ඇත්තේ ඔහුට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් වූ ගොනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රමාදය හේතුවෙන් මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇති බවත් සඳහන් කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යයන්හි මහජනතාව නොමඟ යන අයුරින් පුවත් පළ කර ඇත.

අපරාධ දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික මධ්‍යම කාර්යාංශය (Sri Lanka Interpol) විසින් රතු නිවේදන නිකුත් කිරීමෙන් අනතුරුව 2022 අගෝස්තු මස 19 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතින් ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික මධ්‍යම කාර්යාංශයට දන්වා එවා ඇත.  

ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයා මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා, අංක INT 281/21 හා 2022 සැප්තැම්බර් මස 12 දිනැති අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු ලිපිය එදින සවස 3.00 ට පමණ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාරදෙන ලදි. 

පසුව ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් පරිදි ඉහත පුද්ගලයා සම්බන්ධයෙන්  සකස් කරන ලද ලිපිය සහ ඊට අදාළ ලේඛන 2022 සැප්තැම්බර් මස 13 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නීති අංශයේ නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට ක්‍රියාකරන ලදි.

ඉන්පසු, විදේශ කටයුතු අමාත්‍යාංශය 2022 සැප්තැම්බර් මස 14 වන දින නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් මේ සබැඳිව උපදෙස් ඉල්ලා ඇති අතර 2022 සැප්තැම්බර් මස 26 වන දින නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් උපදෙස් ලබා දී ඇත. 

එම උපදෙස් අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2022 සැප්තැම්බර් මස 30 වන දින මෙම සැකකරු නිදහස් නොකරන ලෙසට දන්වමින් කරන ලද ඉල්ලීම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත.

ඉහත කරුණු අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් මෙම ලිපි ලේඛන ප්‍රමාදවීමක් සිදුවී නොමැති අතර, එම ලිපි ලේඛන ලද දිනට පසු දිනම එනම් පැය 24 කටත් අඩු කාලයකදී විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇති බව අවධාරණය කරන අතර, මෙවැනි ගණයේ දරුණු අපරාධකාරයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එමෙන්ම ඉදිරියටද මෙවැනි අපරාධකාරයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් වැඩිදුරටත් මහජනතාව වෙත දන්වා සිටියි.

තවද ඇතැම් මුද්‍රිත හා සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන මෙවැනි පදනම් විරහිත අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාව වෙත දැනුම් දී සිටියි.

Leave a Reply

Your email address will not be published.