මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපළක් තහනම් කරයි

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික් නම් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුට අයත් රුපියල් කෝටි 15ක් පමණ වටිනාකින් යුත් මෙරට දේපළ තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම සුඛෝපභෝගී අවන්හල ශිරාන් බාසික් නමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් වෙනත් අයෙකුගේ නමින් මිලදීගත් දේපළක් බවටද හෙළිවී ඇත.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ඒ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ශිරන් බාසික් විසින් අදාළ පුද්ගලයාට ඒ වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාදී ඇති බවය.

සුඛෝපබෝගී අවන්හලේ සහ එය පිහිටි ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 15කට අධිකය.

එමෙන්ම අවන්හලේ අලංකරණ කටයුතු සඳහා ද රුපියල් මිලියන 16ක් පමණ වැයකර ඇති බව එම කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන තිබේ.

තවදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ශිරාන් බාසික් නැමැත්තාගේ පුත්‍රයා විසින් මෙහි පාලන කටයුතු සිදුකර ඇති බවය.

මේ වනවිට ඔහු පොලීසිය මඟහරිමින් සිටින අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කටයුතු කළ බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

ඩුබායි රාජ්‍යයේ මේ වනවිට සැඟවී සිටින ශිරාන් බාසික් 2019 වසරේ එරටට පළාගොස් ඇති අතර ඔහුට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු පවතී.

එමෙන්ම ශිරාන් බාසික් දෙහිවල ගල්කිස්ස ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මුල්කාලයේදී ජාවාරම් සිදුකර ඇති අතර සෑම පොහෝ දිනකම එම ප්‍රදේශවල සිටිනි අඩු ආදායම්ලාභි පුද්ගලයින් 25ත් 30ත් අතර පිරිසකට ඇස් කාච සඳහා මුදල් ලබාදෙන බවත් දුප්පත් පවුල් සඳහා විශාල වශයෙන් ආධාර සිදුකරන බවත් අනාවරණ වී තිබේ.

ශිරාන් බාසික් නමැත්තා වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් මෙරට තුළ තවත් දේපළ රැසක් මිලදීගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවත් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පැවසීය.

Leave a Reply

Your email address will not be published.