ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයින් හය දෙනෙකු ඉන්දියාවේ කේරළයට අයත් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1,200කට අධිකය.
ඉන්දියාවේ කෝචි මුහුදේ දී මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව ඉන්දීය නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එහිදී ජාවාරම්කරුවන් එම හෙරොයින් තොගය මුහුදට දමා පළායාමට උත්සාහ කර තිබූ බවය.
යාත්‍රාවේ ඉරාන ජාතිකයින් 06 දෙනෙකු රැඳී සිට ඇති අතර එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 200ක තොගයක් සොයාගෙන ඇත.
ඇෆ්ගනිස්තානයේ නිෂ්පාදිත බවට සැලකෙන මෙම හෙරොයින් තොගය පාකිස්තානයේ සිට ඉරානය වෙත රැගෙන ඒමෙන් පසුව මෙලෙස ඉරාන යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිට තිබේ.
පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමටද සැලසුම් කර තිබූ බවය.