ප්‍රියමාලිට මුදල් දුන් නම් ලැයිස්තුව ට එක්වූ හිටපු ආණ්ඩුකාරවරයා

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට අවස්ථා දෙකකදී තමාද රුපියල් කෝටි 80ක පමණ මුදලක් ලබාදී ඇති බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

ඒ ඔහු ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදෙමිනි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලිවලට අනුව තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් බිලියනයකට අධික බව අනාවරණ වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ මුදල් සිය ව්‍යාපාරවල ආයෝජනය කර ඇතැයි සැකකාර කාන්තාව පවසා තිබුණද එවැන්නක් නිරීක්ෂණය නොවන බැවින් එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.

එමෙන්ම අදාළ කාන්තාව විශ්‍රාමික සහ සේවය හැරගිය ආරක්ෂක අංශ නිලධාරීන් සිය ආරක්ෂාවට තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මේ අතර අදාළ කාන්තාවට මුදල් ලබාදුන් අය ලෙස ව්‍යාජ නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම ගැන විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකළේය.

මේ අතර තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සමග ගනුදෙනු කළ බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ නම සමාජ මාධ්‍යතුළ සංසරණයවීම ගැන අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු උන්වහන්සේගෙන් විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published.