ජොන්ස්ටන් ට අධිචෝදනා භාරදෙයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.

එම අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

ඉන් පසුව නඩු විභාගය නොවැම්බර් මස 01 වනදා තෙක් කල් තැබුණි.

2011 වසරේ සතොස ආයතනයෙහි සේවකයින් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කොට අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් කොමිසම විසින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව එම නඩුව ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.