මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීමට උත්සාහ කළ ඔස්ට්‍රේලියානුවන් ට වූ දේ

මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනා අද (11) සිඩ්නි ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිඩ්නිහි දී එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔස්ට්‍රේලියාවේ අනුබද්ධිත සමාගමක් වූ එස්.එම්.ඊ.සී ජාත්‍යන්තර සමාගම විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තුව ලබාගැනීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සහ දරා ඇති බව වාර්තා වේ.

2009 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් තුන්ලක්ෂ හාර දහසකට වැඩි මුදලක් අදාළ පුද්ගලයින් දෙදෙනා විසින් අල්ලස් ලෙස ලබාදීමට කුමන්ත්‍රණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිෂන් සභාව, ඔස්ට්‍රේලියානු වෙළෙඳ හා අයෝජන කොමිෂන් සභාව, ශ්‍රි ලංකා පොලීසිය, බංග්ලාදේශ පොලීසිය, ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් සමග එක්ව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

අත්අඩංගුවට ගත් 67 හැවිරිදි සහ 71 හැවිරිදි සිඩ්නිහි පදිංචි පුද්ගලයින් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත අතර විදේශ රාජ්‍ය නිලධාරියෙකුට අල්ලස් දීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔවුන් වරදකරුවන් වුවහොත් වසර 10ක සිරදඩුවමක් හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published.