උද්ඝෝෂකයින් විසුරුවා හැරීම ගැන පොලිස්පතිගෙන් පැය 24ක් තුළ වාර්තාවක් ඉල්ලයි

කොළඹ ගාලු මුවදොර පසුගිය ඉරිදා දිනයේ පැවති විරෝධතාවය පොලීසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

අදාළ වාර්තාව පැය 24ක කාලයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

පසුගිය 09 වන දින කොළඹ ගාලු මුවදොර පැවති විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පෙන්වා දෙන්නේ නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන් මතක තබා ගත යුතු කරුණ වන්නේ කවදා හෝ තම නීතිවිරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බවය.

තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීතිවිරෝධී ක්‍රියාවන්හියෙදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩකල පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවී ඇති ආකාරය තමන් දැක ඇති බව සාලිය පීරිස් මහතා පෙන්වා දෙයි.

යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද වුව ද එය නිසැකවම සිදුවන බව සිය ෆේස්බුක් සටහන මගින් සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published.