බස්නාහිරට ආ සුදු මැස්සා

සුදු මැස්සා නැමති කෘමි උවදුර නිසා මේ වනවිට ප්‍රදේශ රැසක පොල් ඇතුළු බෝග වගාවන්ට දැඩි හානි සිදුවී තිබේ.

2019 දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ සුදු මැස්සා උවදුර මේ වන විට බස්නාහිර පළාතේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ වගාවට හානිකරන “සුදු මැස්සා” මර්දනය කිරීම සඳහා ගම් මට්ටමින් වැඩසටහන් ආරම්භ කර ඇති බවය.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ  මේ වනවිට විශාල වශයෙන් පොල් ගස් හා තැඹිලි ගස් මේ කෘමි උවදුරට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් ශාක පත්‍රවල කොළ පැහැය අඩුවී පටක අක්‍රමවත් කහ පැහැයක් ගනු ලබන අතර ඵලදාව ද අඩුව තිබේ.

පොල් හා තැඹිලි ගස් ආශ්‍රිතව ව්‍යාප්ත වූ සුදු මැස්සා මේ වන විට අඹ, කෙසෙල්, කරපිංචා සහ පුවක් ආදි ශාක රැසකට ද ව්‍යාප්ත වී තිබේ.

පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ සුදු මැස්සා මර්දනය කිරීම සඳහා කෘමි නාශක, සබන් වතුර හෝ කොහොඹ තෙල් යොදා ගත හැකි බවය.

මේ අතර සුදු මැස්සා කෘමි උවදුර ඇතුළු පොල් වගාවට සම්බන්ධ ගැටලු 1928 දුරකතන අංකයට හෝ 070 – 4001928 වට්ස් ඇප් අංකයට දැනුවත් කරන ලෙසද පොල් පර්යේෂණ ආයතනය වගාකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොල් පර්යේෂණ ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) නයනි ආරච්චිගේ මහත්මිය,

“ඉන්දියාව වැනි රටකින් පොල් පැළ හෝ පොල් ගෙඩි ගේනකොට නිත්‍යානුකූල නොවන මාර්ගයකින් මේ සතා ලංකාවට ඇතුළු වුණා කියලා තමයි අපිට දැනට තිබෙන තොරතුරවලට අනුව හිතන්නට පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ සතාව ස්වභාවිකව මර්දනය කරන ක්‍රම අපේ පරිසරයේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේවගේ විශාල වශයෙන් අසාදනික තත්ත්වයට වර්ධනය වෙන්නට පුළුවන්.  සුදු මැස්සෝ කහපාට ආකර්ෂණය වෙනවා. ඒක අපි වාසියක් කරගෙන පොලිතීන් සහ ග්‍රීස් භාවිත කරලා උගුලක් නිර්දේශකරලා තියෙනවා. අපි වගාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා  අඩුම වශයෙන් කෘමිනාශක හෝ කොහොඹ තෙල් භාවිත කරන්න බැරිනම් අඩුම ගානේ සබන් කුඩු වතුරේ දියකරලා ඒක ඉසින්න කියලා අපි නිර්දේශකරලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.