ගානියා ට එරෙහි නඩුව ට මූලික විරෝධතාවයක්

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය විසින් අද (12) කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකර තිබේ.

ඒ අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ය.

2019 වසරේ සුදු වෑන්රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගානියා බැනිස්ටර් නමැත්තියට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුවට අදාළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 යටතේ ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

එම වගන්තිවලට අනුව අදාළ අධිචෝදනා පත්‍රය බැලූ බැල්මටම  පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් පෙන්වා දුනි.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ එම චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවය.

අනතුරුව නඩුව නොවැම්බර් 8 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු වෑන්රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් කණ්ඩායමක් තමන්ම පැහැරගෙන ගොස් තර්ජනය කොට ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා කරමින් අදාළ විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.