පලාතොට අංජුගේ කල්ලිය පොලීසියට කොටුවෙයි

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව කළුතර පන්විලහේන ප්‍රදේශයේ කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24,26 සහ 28 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.

වැඩිදුරටත් වාර්තා වන්නේ අත්අඩංගුවට ගත් තිදෙනා අතර පලාතොට අංජු නමැති පුද්ගලයෙකුද සිටින බවය.

මෙම කල්ලිය විසින් කළුතර උතුර, කළුතර දකුණ, අගලවත්ත, අඟුරුවාතොට යන ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කොල්ලකා පළාගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් සොරකම් කරන ලද යතුරුපැදියක් සහ තවත් ත්‍රිරෝද රථයක් මෙම කොල්ලයන් සඳහා භාවිත කර ඇති බවය. 

ඊයේ (12) දිනයේ පොලීසිය සිදුකළ විමර්ශනයකදී පලාතොට පන්විල ප්‍රදේශයේ තිබී අදාළ කොල්ලයන් සඳහා යොදාගන්න සොරකම් කරන ලද යතුරුපැදිය සොයාගෙන තිබේ.

සැකකරුවන් සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරුව සිදුකළ විමර්ශනවලදීය.

එසේම කොල්ලකරුවන් විසින් සොරකම් කරන ලද රන් මාල දෙකක් වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුට අලෙවි කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති හෙරොයින් සම්බන්ධ නඩුවක් ද මේ වනවිට විභාග වෙමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.