තිළිණි ප්‍රියමාලි තවත් ගමනක් යයි

මූල්‍ය වංචා සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය අද (15) දිනයේත් ස්ථානීය පරීක්ෂාවන් සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව සහිතව ඇය අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂාව සඳහා රැගෙන ගිය බවය.

පැය 05ක පමණ කාලයක් එම ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය සැකකාරිය නැවත අද පස්වරු 03.20ට පමණ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව වාර්තා විය.

කොළඹ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ඇයව රැගෙන පැමිණ ඇති අතර අදාළ ගොඩනැගිල්ල තුළ මූල්‍ය ගනුදෙනු සිදුවූ බවට සිදුකරන විමර්ශනවලදී තොරතුරු අනාවරණයවීම හේතුවෙන් මෙලෙස රැගෙනවිත් ඇති බව සඳහන් ය.

මේ අතර පසුගිය 12 වනදා දිනයේ ද සැකකාර තිළිණි ප්‍රියමාලි තැනැත්තිය ස්ථානීය පරීක්ෂාවක් සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇයගේ ව්‍යාපාරික ස්ථානයට රැගෙන ගොස් තිබුණි.

මේ වනවිට අවස්ථා දෙකකදී ඇය ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා මෙලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ.

එම පරීක්ෂා කිරීම් කටයුතු සඳහා ඇයව ලබන 19 වනදා දක්වා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට ද අවසර හිමිව ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

Leave a Reply

Your email address will not be published.