ණය ගැන චීනයට චෝදනාවක්

ලොව විශාලතම ද්වීපාර්ශ්වික ණයහිමියා වන්නේ චීනය යි.

එහෙත් බොහෝ රටවල් මේ වනවිට ණය නැවත ගෙවීමට නොහැකිව සිටින අතර බටහිර රටවල් පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇති ලොකුම බාධාව චීනය බවය.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන්නේ බොහෝ රටවල් මුහුණදී ඇති බාහිර ණය අර්බුද විසඳීම සඳහා චීනයට විශාල වගකීමක් පැවරී ඇති බවත් චීනය සාකච්ඡා මේසයට ගෙන ඒමට කළ යුත්තේ කුමක්ද සම්බන්ධයෙන් මේ වනවිට අදහස් හුවමාරුවක් සිදුවෙමින් ඇති බවත්ය.

20 කණ්ඩායම විසින් සංවර්ධනය වන රටවල් සඳහා 2020දී එළිදැක්වුණු “පොදු රාමුව” ඔස්සේ සාකච්ඡා මේසයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් සමාජය සහ පෞද්ගලික ණයහිමියන් සමග චීනය සහ ඉන්දියාව ගෙන ඒමට ප්‍රයත්නයක් දරයි.  

එම ක්‍රමවේදය ඔස්සේ සිය රටවල් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සැම්බියාව, චැඩ් සහ ඉතියෝපියාව ඉල්ලුම් කර තිබුණි.

මේ අතර සිය සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති ශ්‍රී ලංකාවද ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලපොරෝතුවෙන් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කාර්ය මණ්ඩල වශයෙන් අනුමත වී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම සාර්ථක කර ගැනීමට සිය ණය ප්‍රතිව්‍යුහගතකර ගැනීම අභියෝගයකි.

Leave a Reply

Your email address will not be published.