තිලිණිගේ මූලස්ථානය ක්‍රිෂ් ගොඩනැගිල්ලයි.. සියළු පහසුකම් ජානකීගෙන්..

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි, ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සමග රුපියල් කෝටි ගණනින් වූ ගනුදෙනු රැසක් සිදුකිරීමේ මූලස්ථානය ලෙස කොටුව ක්‍රිෂ් සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල භාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට අදාළ ගොඩනැගිල්ල තුළදී මහා පරිමාණ වංචාවන් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත්තේ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට දෙවැනි වරටත් ගොස් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු​වේ නිලධාරීන් සැකකාර තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා පෙරේදා (15 වැනිදා) කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙත යළිත් රැගෙන ගොස් තිබුණි.

සැකකාරිය අදාළ ස්ථානයට රැගෙන එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනද එම ස්ථානයට කැඳවා තිබුණි.

එහිදී ජානකී සිරිවර්ධන නමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. එහිදී තිළිණි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනු රැසක් සිය ක්‍රිෂ් ගොඩනැගිලි කාර්යාලය තුළ සිදුවූ බව ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇතැයි පවසන මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෙසේ පැවැසීය.

‘නීතියේ ප්‍රතිපාදන තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමයි මෙතනට අදාළ වෙන්නේ. ඒ සඳහා පූර්ණ බලතල පොලිසියට තිබෙනවා. අධිකරණය තිබෙනවා. වංචනික මූල්‍ය ගනුදෙනුකරුවන්ට අහුවෙන්න එපා කියලා ජනතාවට අපි හැම විටම කියනවා. සමහර හොර මූල්‍ය සමාගම් අවුරුද්දකට කිහිපයක් කඩා වැටෙනවා. ජනතාව බුද්ධිමත් විය යුතුයි.

Leave a Reply

Your email address will not be published.