මෛත්‍රී ට කල්දෙයි – දයාසිරි ට නොතීසි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන 31 වනදා දක්වා කල් ලබාදී තිබේ.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන්  කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම නඩුව ගොනුකර තිබුණි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ අදාළ නඩුව අද (19) කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එහි දෙවන විත්තිකරු වශයෙන් නම්කර සිටි පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් නීතිඥවරයකු පෙනීසිටියේ නැත.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතාට ලබන 31 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කළේය.

සමස්ත ලංකා කාරක සභාව නමින් රැස්වීමක් සංවිධානය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉකුත් සැප්තැම්බර් මස 02දා පක්ෂ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බවත් එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පක්ෂ මහලේකම්වරාට ලැබුණු බලතලවලට අනුව තමන්ව තනතුරුවලින් ඉවත්කර ඇති බවට විත්තිකරුවන් ප්‍රකාශ කරන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.