යක්කලමුල්ලේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු එළියට

යක්කලමුල්ල කරුවලගල ප්‍රදේශයේ අද (19) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක ආඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි ප්‍රහාරයෙන් කුඩා දරුවෙකු ද තුවාල ලබා ඇති අතර එම දරුවාගේ වයස අවුරුදු 04ක් බව පොලීසිය පවසයි.

තුවාල ලබා ඇති අනෙක් පුද්ගලයා එම දරුවාගේ පියා වන අතර ඔහු 30 හැවිරිදි වියේ පසුවන කරුවලගල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මියගොස් ඇති පුද්ගලයා සහ තුවාලකරු නිවසේ කුරුඳු තලමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

අනතුරුව වෙඩි ප්‍රහාරයට පැමිණි සැකකරුවන් විසින් එම නිවස දෙසට පැමිණි තවත් යතුරුපැදියක් ද කොල්ලකා පළාගොස් තිබේ.

මේ අතර පොලීසිය පවසන්නේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ඇල්පිටිය අධිකරණයෙන් ඇප ලබා සිටි අයෙකු බවය.

2019 වර්ෂයේදී ඇල්පිටියේදී බස් රථයක් තුළදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවය.

වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.