නීති ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් වෙමින් පවතිනවා

ශත වර්ෂයක පමණ කාලයක් තුළ නීති ක්ෂේත්‍රයෙහි සිදු නොවූ දැවැන්ත පරිවර්තනයක් මේ වන විට සිදු වෙමින් පවතින බව හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

නීති 14 ක් සංශෝධනය කිරීමට නියමිත බවත් නීතිඥවරුන්ගේ ස්වේච්ඡා උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ක්ෂේත්‍ර 80ක පමණ සංශෝධනයන් සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අන්තිම කැමැති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

2020 අගෝස්තු මාසයේදී අධිකරණ අමාත්‍යාංශය බාර ගත් පසුව කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර නීතියේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අවතීර්ණ වූ බවත් ඒ අනුව වත්මන් අධිකරණ ඇමැතිවරයා ආරම්භ කර තිබූ ඩිජිටල්කරණය අධිකරණයට යොදා ගැනීමට සැලසුම් සකස් කළ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

අධිකරණ ඇමැතිවරයාව සිටියදී මෙම ක්ෂේත්‍රය පුළුල් කිරීමට පියවර ගත් බවත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩ්‍රයිව් එක සහ ඩිජිටල්කරණය මේ වන විට ආර්ථික අර්බුදය හමුවේ අභියෝගයකට ලක්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

නීති සමාලෝචනය සඳහා සිවිල් නීති, වාණිජ්‍ය නීති, අපරාධ නීති අනුකමිටු ස්ථාපිත කර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන සිදු විය යුතු වෙනස්කම් සිදු කිරීමට පියවර ගත් බවත් කැබිනට් පත්‍රිකා 77ක් පමණ කැබිනට් ඇමැතිවරයා ලෙස නීති සංශෝධනයට ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.