ලෝක කුසලානය සමඟ රු. කෝටි 56කට සුපිරි කණ්ඩායම් 12 අද සිට සටනේ

ශ්‍රී ලංකාව හෙට අයර්ලන්තයට එරෙහිව තරග බිමේ

විස්සයි20 ලෝක ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 56ක ත්‍යාග මුදලක් පිරිනැමෙන අයිසීසී ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 සටන අද (22) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධාන කරන මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 8 වැනි වරටය. මෙහිදී කණ්ඩායම් 12 කාණ්ඩ දෙකකින් තරග වදින අතර, තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඔස්ට්‍රේලියා සිඩ්නිහිදී නවසීලන්තයට එරෙහිව මෙරට වේලාවෙන් දහවල් 12.30ට තරග වදින අතර, එදිනම පස්වරු 4.30ට ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය පර්ත්හිදී පැවැත්වේ.

කෙළින්ම 12ට

මේ කණ්ඩායම් 12 අතරට එක්වන මූලික කණ්ඩායම් 8 තෝරා ගැනීම පසුගිය වසරේ නොවැම්බර් මස 15 වැනිදා වන විට සිදු කෙරිණි. ඒ වන විට සත්කාරකයන් (ඔස්ට්‍රේලියාව) හැර අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 7 හිමිකරගෙන සිටි කණ්ඩායම් ඍජුවම මේ වටයට එක් විය. සත්කාරකයන්ට වේලාසනින්ම සුපිරි 12 වටයේ ස්ථානයක් වෙන්ව තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමඟ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය මේ කණ්ඩායම් අතරට එක් විය.

මූලික වටයෙන් 4ක්

ඒ වන විට ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටි කණ්ඩායම් කිහිපයක් සහ කලාපීය තරගාවලි ජයග්‍රාහකයන් සමඟ කණ්ඩායම් 8ක් මූලික වටයෙන් තරග වැදුණු අතර, ඒ අනුව ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ එම වටයෙන් සුපිරි 12ට එක් විය.

දෙවැනි වරටත් සුපිරි වටයට

නෙදර්ලන්තය සහ අයර්ලන්තය ලෝක කුසලාන තරගාවලියක සුපිරි කණ්ඩායම් අතරට එක් වන්නේ දෙවැනි වරටය. නෙදර්ලන්තය මින් පෙර 2014 වසරේදී සුපිරි කණ්ඩායම් 10 අතරට එක්ව තිබූ අතර, මින් පෙර ඔවුන් 2009 වසරේ සුපිරි වටයට එක් වූ අතර, එවර සුපිරි වටය කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සිම්බාබ්වේ මංගල ගමන

සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක සුපිරි වටයට එක් වූ පළමු අවස්ථාව මෙයයි. මින් පෙර 2007 වසරේ සිට 5 වරක් ලෝක කුසලාන තරගාවලිවල මූලික වටයට එක් වීමට සිම්බාබ්වේ පිල සමත් වුවද එහිදී සුපිරි කණ්ඩායම් අතරට එක් වීමට නොහැකි විය. ඔවුන් අවසන් වරට ලෝක කුසලාන තරගාවලියකට එක් වූයේ 2016 වසරේදීය.

කොදෙව්වෝ හැලෙති

දෙවරක් (2012 සහ 2016) විස්සයි20 ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වරට සුපිරි කණ්ඩායම් අතරට එක්වීමේ අවස්ථාව අහිමි වීම තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය. මෙවර තරගාවලියේ මූලික වටයෙන් තරග වැදීමට සිදු වූ කොදෙව් පිලට එහිදී තරග 3කින් වාර්තා කළ හැකි වූයේ එක් ජයක් පමණි. මින් පෙර 2007 මංගල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් පිලට මූලික වටයෙන් ඉවත් වීමට සිදු විය.

තරග 30ක්

සුපිරි 12 වටය අද සිට නොවැම්බර් මස 6 දා දක්වා පැවැත්වෙන අතර, ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 30කි. එහිදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් 5 සමඟින් තරග වදින අතර, එහි මුල් ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට එක්වනු ඇත. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 9 වැනිදා සිඩ්නිහිදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය 10දා ඇඩිලේඩ්හිදී පැවැත්වෙනු ඇත. අවසන් මහා තරගය 13 වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 සටන ආරම්භ කරමින් හෙට (23) අයර්ලන්තයට එරෙහිව පළමු තරගයට එක් වෙයි.

මේ දෙපිල මින් පෙර අවස්ථා දෙකකදී විස්සයි20 පිටියේදී හමු වූ අතර, ලෝක කුසලාන තරගාවලි යටතේ පැවති එම තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී දෙපිල අවසන් වරට හමුව ඇති අතර, එම තරගයේ ජය ශ්‍රී ලංකා පිල සතු වී ඇත්තේ ලකුණු 70කිනි. කෙසේ වෙතත් එම තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 171ක් රැස් කළ අතර, එහිදී වනිඳු හසරංග (71) සහ පැතුම් නිශ්ශංක (61) අර්ධ ශතක රැස් කරද්දී නායක දසුන් ශානක ලකුණු 21ක් රැස් කර තිබේ. කඩුලු 7ක් බිඳ වැටුණු ඉනිමේදී සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වී තිබේ. 2009 වසරේ පළමු හමුවේදී ශ්‍රී ලංකා පිල ලකුණු 9ක ජයක් වාර්තා කර තිබිණි.

බරට තෑගි

මේ තරගාවලියේ ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් පිරිනැමෙද්දී අනුශූරයන්ට ඩොලර් 800,000ක් හිමිවනු ඇත. අවසන් පූර්ව තරග ද්විත්වයෙන් පරාජය වන කණ්ඩායම් දෙක සඳහා ඩොලර් 400,000 බැගින් හිමිවනු ඇත.

මේ අදියරේ මූලික වටයේදී සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම ඩොලර් 40,000 බැගින් හිමි වන අතර, අවසන් පූර්ව වටය අහිමි වන කණ්ඩායම් 8 වෙනුවෙන් ඩොලර් 70,000 බැගින් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published.